ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා නියෝජිතයෙකුව ඇගැයීම

මෙම පෝරමය 2015 වසරේ දහනව වන සංශෝධනය ද ඇතුළත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු කරුණුවලින් තෝරාගත් යම් කරුණු ප්‍රමාණයකට අනුව ජනතා නියෝජිතයෙකුව ඇගැයීම පිණිස භාවිතා කළ හැක. මෙහි දැක්වෙන කරුණු රටේ ජනාධිපතිවරයාට, අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට පොදු වේ. තවද දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ඇගැයිම පිණිස ද මෙම පෝරමය උපකාර කර ගත හැක.

පෝරමය පිරවීමේදී අංක 0 තේරීමෙන් ඊට අදාළ කරුණෙහි සම්පූර්ණ අසමාර්ථ භාවයත් අංක 5 තේරීමෙන් විශිෂ්ටතම භාවයත් දැක්වේ. අතරමැති අංක අතරමැදි තත්ත්වයන් දැක්වීම පිණිස අනුරූපව භාවිතා කරන්න.

II වැනි පරිච්ඡේදය - බුද්ධාගම

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම
සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දීම
බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම

VI වැනි පරිච්ඡේදය - රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්

රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම

27. (1) ව්‍යවස්ථාවේ ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම ධාර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී ද, ශ්‍රී ලංකාවේ රාජ්‍යනුශාසනයෙහි දී ද ගුරුකොට ගනු ලැබීම
27. (2) (අ) සියලු තැනැත්තන්ගේ ම මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරා ලීම
27. (2) (ආ) ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ, ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරුකොට ගන්නා සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇති කර ආරක්ෂා කර දීමෙන් ජනතා සුභ සිද්ධිය වර්ධනය කිරීම
27. (2) (ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුව ද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනය ද, විවේකය හා සාමාජයීය සහ සංස්කෘතික ඉඩ ප්‍රස්තා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට හා තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම
27. (2) (ඈ) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය, රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහෙයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍යයවන සැලසුම් සහ පාලනය නීතියෙන් නියම කිරීමෙන් ශීඝ්‍ර ලෙස මුළු රට සංවර්ධනය කිරීම
27. (2) (ඉ) පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරීම
27. (2) (ඊ) නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම
27. (2) (උ) ජනතාවගේ සදාචාරයෙහිත්, සංස්කෘතියෙහිත්, තත්ත්වය වැඩි දියුණු කිරීම සහ පෞරුෂත්වයෙහි පූර්ණ වර්ධනය තහවුරු කිරීම
27. (2) (ඌ) නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම
27. (3) ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත් බව හා දේශ පූර්ණත්වය ද ආරක්ෂා කිරීම
27. (4) පරිපාලනය විමධ්‍යගත කිරීමෙන් සහ මහජන කටයුතුවලට සහ පාලන කටයුතුවලට සෑම අවස්ථාවක ම ජනතාව සහභාගි කරවා ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්තවාදී පදනම සහ ජනතාවගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ද තහවුරු කොට පුළුල් කිරීම
27. (5) වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිත කරන සහ වෙනත් ජන කොට්ඨාස ඇතුළු ශ්‍රී ලංකා වාසී සකල ජනතාව අතර සහයෝගය සහ අන්‍යොන්‍ය විශ්වාසය වඩාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම ද, විශේෂ සැලකිලි සහ වෙනස්කම් තුරන් කිරීම සඳහා ඉගැන්වීම, අධ්‍යාපනය දීම සහ ප්‍රවෘත්ති සැපයීම යන ක්ෂේත්‍රවල ඵලදායී පියවර ගැනීම
27. (6) කිසිම පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්තාවන් සැලසීම
27. (7) ආර්ථික සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කර ගැන්ම තුරන් කිරීම
27. (8) ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර වන සේ ඒකරාශි නොවන බවට වගබලා ගැනීම
27. (9) සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට වගබලා ගැනීම
27. (10) ජනතාවගේ භාෂා සහ සංස්කෘතීන් වර්ධනය කිරීමට සහාය වීම
27. (11) ආගමක් අදහන කවරකු හට වුව ද, ස්වකීය ආගමික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ආර්ථික හා සමාජ පරිසරය ඇති කිරීම
27. (12) පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් පිළිගෙන ආරක්ෂා කිරීම
27. (13) ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීම, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභ සිද්ධිය විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කිරීම
27. (14) ජනතාවගේ යහපත තකා පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කිරීම
27 (15) ජාත්‍යන්තර සාමය, සුරක්ෂිතභාවය හා සහයෝගීතාව වර්ධනය කිරීම, ජාතීන් අතර කටයුතුවල දී ජාත්‍යන්තර නීතිය සහ ගිවිස ගත් බැඳීම් කෙරෙහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම, ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති කිරීමට උත්සාහ කිරීම

මූලික යුතුකම්

පහත දැක්වෙන යුතුකම් ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුටම අදාළ වන අතර ජනතා නියෝජිතයෙකුව ඇගැයීමේ දී ද භාවිතා කළ හැක.
28. (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය කිරීම
28. (ආ) ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම
28. (ඇ) තමන් විසින් තෝරා ගනු ලැබූ රැකියාවෙහි හෘදය සාක්ෂියට එකඟව නොපිරිහෙලා වැඩ කිරීම
28. (ඈ) පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම, පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව ක්‍රියා කිරීම
28. (ඉ) සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ගරු කිරීම
28. (ඊ) ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම