රටේ පිරිහීමට වැඩිපුර දොස් කිව යුත්තේ කා හටද?

කමල් වික්‍රමනායක -

බුද්ධ භාෂිතය දැක්වෙන අධම්මික සූත්‍රයේ සඳහන් දෑ මෙකලට අනුව ගතහොත් රාජ්‍ය පාලකයින් අධාර්මික වන කල රාජ්‍ය නිලධාරීන් අධාර්මික වන බවත්, රාජ්‍ය නිලධාරීන් අධාර්මික වන කල නගර වැසි ප්‍රමුඛ ගෘහපතීන් අධාර්මික වන බවත් නගර වැසි ප්‍රමුඛ ගෘහපතීන් අධාර්මික වන කල කුඩා නගර සහ පිටිසර වැසියන් අධාර්මික වන බවත් වටහා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයින්ව පත්කර ගන්නේ කලින් කලට පවත්වන ඡන්ද විමසීම්වලට අනුව දැක්වෙන රටවැසියන්ගේ බහුජන මතයට අනුව. බහුජන මතයට අනුව තේරී පත්වන පුද්ගලයින් දූෂණ වංචා ක්‍රියාවන්හි යෙදෙන අධාර්මික පුද්ගලයින් නම් රටේ පිරිහීමට එය හේතු වෙනවා. එහිදී වැඩිපුර දොස් කිව යුත්තේ කා හටද? අධාර්මික රාජ්‍ය පාලකයින්ට වැඩිපුර දොස් කිව යුතුද? අධාර්මික රාජ්‍ය පාලකයින්ව තෝරා පත්කර ගන්නා බහුජන පිරිසට වැඩිපුර දොස් කිව යුතුද? වෙනත් පිරිසකට වැඩිපුර දොස් කිව යුතුද?

එම කරුණේදී වැඩිපුර දොස් කීම බොහෝ විට කළ යුත්තේ සමාජයේ බුද්ධිමතුන්ට. මනා රාජ්‍ය පාලනයක් පිණිස වඩාත්ම සුදුසු පුද්ගලයින් මොවුන් යැයි නිවැරදිව හඳුනාගැනීම දිගු කලක් ඔවුන්ව අධ්‍යයනය කිරීමෙන් මිස කෙටි කාලීන අධ්‍යයනයකින් කිරීම අපහසු ක්‍රියාවක්. තවද එය බුද්ධිමතුන්ටම ගෝචර ක්‍රියාවක් මිස ඒ පිළිබඳ මනා අවබෝධයක් නොමැති අයට කළ නොහැකියි. එබැවින් වඩාත් සුදුසු රාජ්‍ය පාලකයින්ව තෝරා පත්කර ගැනීම පිණිස සමාජය මෙහෙයවිය යුතු ප්‍රමුඛ පුද්ගලයින් විය යුත්තේ බුද්ධිමතුන්. වෙන කවරෙක් එසේ කරන්නද?

කළ හැකිව පැවතියදීත් සමාජය යහමඟ යැවීමට බුද්ධිමතුන් කටයුතු නොකරයි නම් ඒ බුද්ධිමත්කමෙන් කවර ප්‍රයෝජනයක්ද?