ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ ජනතාව නැගී සිට අරගල කිරීමේදී දේශපාලනයට සම්බන්ධ වීම අරභයා භික්ෂූන් වහන්සේලාටත් දොස් එල්ල කෙරෙන බව පෙනෙනවා. සමහර ඒ දොස් කීම්වලට සාධාරණ පදනමක් ඇත්තේ නැහැ. තවත් සමහර ඒ දොස් කීම්වලට සාධාරණ පදනමක් තිබෙනවා. සාධාරණ පදනමක් ඇතිව හෝ නැතිව කෙරෙන ඒ සමහර දොස් කීම්වලදී පොදුවේ සියලු භික්ෂූන් වහන්සේලා වෙත දෝෂාරෝපණ එල්ල කෙරෙන අවස්ථා ද තිබෙන බව පෙනෙනවා. එසේ පොදුවේ සියලු භික්ෂූන් වහන්සේලා වෙත දොස් කීම සුදුසු ක්‍රියාවක් ද? දොස් කියනවා නම් කොපමණ භික්ෂූන් වහන්සේලා පිරිසකට දොස් කීම සුදුසු ද?
භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා යනු සුවිශේෂී පිරිසක්. මතුපිටින් බැලූ විට අන් මිනිසුන් මෙන් පෙනුනත් මේ පිරිස කෙරෙහි මිනිසුන් තුළ ගෞරවයක් පවතිනවා නම් ඉන් ඒ මිනිසුන්ට යහපතක් මිස අයහපතක් නම් කොහෙත්ම සිදුවන්නේ නැහැ. ඒ නිසා භික්ෂූන් වහන්සේලා අරභයා චෝදනා එල්ල නොවීම උතුම්. එසේ උවත් සෑම භික්ෂූන් වහන්සේ නමක්ම හික්මී අවසන් භික්ෂුවක් නොවෙයි. එබැවින් සමහර භික්ෂූන් වහන්සේලා අතින් වැරදි ක්‍රියා සිදුවීම බලාපොරොත්තු විය යුතු දෙයක්. ඒ වැරදි ක්‍රියා නිසා එම භික්ෂූන් වහන්සේලා අරභයා චෝදනා එල්ල වේ නම් එය ද බලාපොරොත්තු විය යුතු දෙයක්. එසේ උවත් වැරදි කරන භික්ෂූන් අරභයා ධර්මයට විනයට අනුව පිළියම් කෙරේ නම් එය මිනිසුන් තුළ බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීම ඇති කරන කාරණාවක්. බුද්ධ දේශනාවේ විස්තර වන එබඳු පිළියම් වැරැද්දේ තරමට අනුව සුළු පිළියම්වල සිට භික්ෂූත්වයෙන් නෙරපීම දක්වා වෙනස් වෙනවා.
සාධාරණ පදනමක් නොමැතිව පුද්ගලිකව හෝ පොදුවේ සියලු භික්ෂූන් වහන්සේලාට දොස් කීම අයහපතට හේතු වන ක්‍රියාවක් මිස යහපතට හේතු වන ක්‍රියාවක් නොවෙයි. සාධාරණ පදනමක් ඇති විටෙක දොස් කීම කෙබඳු ද?
මනාව කරන පුද්ගලයින්ගේ ගුණ කීම සහ පුද්ගලයින්ගේ නුගුණ කීම යන ක්‍රියාවන් දෙකම බොහෝ පින් සිදුවන ක්‍රියාවන් ලෙස බුද්ධ ශාසනය තුළ අගය කෙරෙනවා. මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව අන් අයට දොස් කීම නුසුදුසු යැයි සර්වප්‍රකාරයෙන්ම එය ප්‍රතික්ෂේප කරන අයත් සිටිනවා. සමහරු අනවබෝධයෙන් සිතන්නේ අනුන්ගේ වැරදි ගැන ක්‍රියා කරන්න කාලය වැය කිරීම නිවන සාක්ෂාත් කිරීමට තමන්ට ඇති කාලය අපතේ හැරීමක් ලෙස. සමහරු අනවබෝධයෙන් සිතන තවත් ආකාරයක් නම් අනුන්ගේ වැරදි ගැන හිතන්න යෑමෙන් තමන්ගේ සිත දූෂණය වෙනවා යන්න. මේ දෙආකාරයට සිතීම් සර්වප්‍රකාරයෙන් වැරදිත් නැහැ, සර්වප්‍රකාරයෙන් නිවැරදිත් නැහැ. ඒ නිසා එබඳු අදහස් ඇති අය නිසි අවබෝධය ලැබුම පිණිස වඩ වඩාත් බුද්ධ දේශනාව හැදෑරීම සුදුසුයි.
යම් එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ යම් භික්ෂූන් වහන්සේලා සුළු පිරිසක් කරන වැරදි අරභයා සමස්ත භික්ෂු සංඝයාට දොස් කීම සුදුසු නැහැ. එසේ උවත් එවන් අවස්ථාවලදී සමස්ත භික්ෂු සංඝයාට දොස් පැවරීම් බුදුරජානන් වහන්සේ ජීවමානව සිටි කාලයේදීත් සිදුව ඇති බවට විනය පිටකය සාක්ෂි දරනවා. එනිසා මෙකල එවන් දෑ සිදුවීම සුවිශේෂී වන්නේ නෑ. අනාගතයේ එවන් දෑ සිදුවීමත් බලාපොරොත්තු විය යුතුයි. එබඳු දොස් කීම් බලාපොරොත්තු විය යුතු උවත් නිදොස් පිරිසකටත් අභූතයෙන් දොස් පැවරෙන නිසා එසේ දොස් පැවරීම සුදුසු නැහැ.
යම් එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ යම් භික්ෂූන් වහන්සේලා සුළු පිරිසක් කරන වැරදි හේතුවෙන් කොපමණ භික්ෂූන් වහන්සේලා පිරිසකට දොස් කීම සුදුසු ද? මෙය ඒ ඒ කාලයේ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපය අනුව වෙනස් වෙනවා. කවර කාලයකදී උවත් අතීත, අනාගත, වර්තමාන සමස්ත භික්ෂු සංඝයාට දොස් පැවරීම නුසුදුසුයි. වර්තමානය දෙස බැලීමේදී වර්තමානයේ වැඩවාසය කරන සමස්ත භික්ෂු සංඝයාට දොස් පැවරීමත් නුසුදුසුයි; වර්තමානයේ වැඩවාසය කරන සමස්ත භික්ෂු සංඝයාට මදක් අඩු මුත් ආසන්න වශයෙන් වර්තමානයේ වැඩවාසය කරන සමස්ත භික්ෂු සංඝයාටම දොස් පැවරීම සුදුසුයි.
- ප්‍රතිචාර දැක්වීමට ඇතුල් වීම හෝ ලියාපදිංචි වීම වෙත යොමුවන්න