ආගම සහ දේශපාලනය

කමල් වික්‍රමනායක -

ආගම සහ දේශපාලනය යනු සමාජයක අභිවෘද්ධිය පිණිසත් පිරිහීම පිණිසත් බලපාන ප්‍රධාන සාධක දෙකක්. යම් සමාජයක යහපත් ආගමික යොමුවක් සහ යහපත් දේශපාලනමය ක්‍රියාවලියක් පවතී නම් එසේ වීම එම සමාජයේ අභිවෘද්ධියට හේතු වෙනවා. යම් සමාජයක අයහපත් ආගමික යොමුවක් සහ අයහපත් දේශපාලනමය ක්‍රියාවලියක් පවතී නම් එසේ වීම එම සමාජයේ පිරිහීමට හේතු වෙනවා.

මෙකල බොහෝ දෙනා මනා ආගමික දැනුමක් නොලබා ඇති බැවින් ආගම කෙරෙහි ඇති නැඹුරුවෙන් දුරස්ව තිබෙනවා.  අල්ප ආගමික අවබෝධය නිසා සමහරෙකුට ආගමක සැබෑ වටිනාකමක් තිබෙනවා ද කියා වත් තේරෙන්නේ නෑ. එබැවින් සමහරු ආගමික සාකච්ඡා ආදිය හිස්, ප්‍රයෝජනයක් නැති, කාලය කා දමන වාද විවාද කිරීම් ලෙසයි දකින්නේ. නිවෙසක වේවා, යහළුවන් එකතු වූ ස්ථානයක වේවා, වෙනයම් ස්ථානයක වේවා ආගමික කතාබස්වල නිරතවීම සමහරු ප්‍රතික්ෂේප කරනවා. ඒ තරමට ආගම නීරස වූ පිරිස් සමාජයේ සිටිනවා.

මෙකල පිරිහුණු දේශපාලකයින්ව බහුල ලෙස දකින්න පුළුවන්. පිරිහුණු දේශපාලකයින්ගේ පිරිහුණු ක්‍රියා දකින සමාජයේ පිරිස් දේශපාලනය ද පිළිකුල් කරනවා. අල්ප අවබෝධය නිසා සමහරෙකුට දේශපාලනයේ සැබෑ වටිනාකමක් තිබෙනවා ද කියා වත් තේරෙන්නේ නෑ. එබැවින් සමහරු දේශපාලන සාකච්ඡා ආදිය හිස්, ප්‍රයෝජනයක් නැති, කාලය කා දමන වාද විවාද කිරීම් ලෙසයි දකින්නේ. නිවෙසක වේවා, යහළුවන් එකතු වූ ස්ථානයක වේවා, වෙනයම් ස්ථානයක වේවා දේශපාලන කතාබස්වල නිරතවීම සමහරු ප්‍රතික්ෂේප කරනවා. ඒ තරමට දේශපාලනය නීරස වූ පිරිස් සමාජයේ සිටිනවා.

මනා ආගමික අවබෝධයක් නොමැති අය විසින් කරන ආගමික සාකච්ඡා ආදිය බොහෝ විට හිස්, ප්‍රයෝජනයක් නැති, කාලය කා දමන වාද විවාද කිරීම් ම තමයි. මනා දේශපාලනමය අවබෝධයක් නොමැති අය විසින් කරන දේශපාලනමය සාකච්ඡා ආදිය ද බොහෝ විට හිස්, ප්‍රයෝජනයක් නැති, කාලය කා දමන වාද විවාද කිරීම් ම තමයි. එබැවින් තමන්ගේ කාලය අපතේ යැවීමට නොකැමැති සමහරු ආගමත් දේශපාලනයත් පිළිබඳ කතා කරන්න යොමු වන්නේ නෑ.

යමෙකුට ආගමත් දේශපාලනයත් එසේ නීරස වී ඇත්නම් ඒ පිළිබඳ නැවත සිතා බැලීම ප්‍රයෝජනවත්. ආගම නීරස සැබෑවටම ආගමේ ඇති දෝෂයක් නිසා ද, නැත්නම් ආගම පිළිපදිනවා යැයි කියන පිරිස්වල නොමනා ක්‍රියා නිසා ද? දේශපාලනය නීරස සැබෑවටම දේශපාලනයේ ඇති දෝෂයක් නිසා ද, නැත්නම් දේශපාලනයට යොමුව ඇති පිරිස්වල නොමනා ක්‍රියා නිසා ද?

සියලු ආගම් එකම ස්වරූපයේ ඒවා නොවෙයි. එබැවින් ආගම්වල දොස් සැබෑවටම පවතින්න පුළුවන්. සියලු දේශපාලන ඉගැන්වීම් ද එකම ස්වරූපයේ ඒවා නොවෙයි. එබැවින් දේශපාලන ඉගැන්වීම්වල දොස් ද සැබෑවටම පවතින්න පුළුවන්. එබැවින්ම ඒවාට අනුගත වන පිරිස් වරදවා ගන්න පුළුවන්. අනුගත නොවී අයහපත් දෑ කරනවා නම් ඒවා ඒ ඒ පුද්ගලයින්ගේ දෝෂ.

දෝෂ සහගත ආගම් සහ දෝෂ සහගත දේශපාලන ඉගැන්වීම් පැත්තක තිබේවා, සමාජයක පුද්ගලයින් මනා ආගමක හික්මේ නම් සහ මනා දේශපාලනමය ක්‍රියාවලියකට අනුගත වේ නම් එය ඒ සමාජයේ මහත් අභිවෘද්ධියට හේතු වෙනවා. එය පුද්ගලික අභිවෘද්ධියටත්, පොදු අභිවෘද්ධියටත් හේතු වෙනවා. ආගමටත් දේශපාලනයටත් නොවේ නම් වෙන කවරකට සමාජයක අභිවෘද්ධිය ඇති කළ හැකි ද?

මනා ආගමික් දැක්මෙන් යුතු මනාව හික්මුණු පැවිදි පිරිසක් යම් සමාජයක ඇත් නම් ඒ පිරිස ඒ සමාජයට මහත් ලාභයක්. ඔවුන්ට ගරු කළ යුතුයි. එසේම මනා දේශපාලනමය දැක්මෙන් යුතු මනාව හික්මුණු දේශපාලකයින් පිරිසක් යම් සමාජයක ඇත් නම් ඒ පිරිස ඒ සමාජයට මහත් ලාභයක්. ඔවුන්ට ද ගරු කළ යුතුයි.

පුද්ගලික අභිවෘද්ධියටත්, පොදු අභිවෘද්ධියටත් දැඩිව හේතු වන බැවින් ආගම ගැන කතා කිරීමත්, දේශපාලනය ගැන කතා කිරීමත් නුවණැත්තන් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ආගම ගැනත් දේශපාලනය ගැනත් හිස් කතාවලින් වැළකී ප්‍රයෝජනවත් ආකාරයට ඒ කතාබහ සිදුවිය යුතුයි. එබඳු මනා සාකච්ඡා නොමැති වීම පරිහාණියට හේතු වෙනවා.

ආගම සහ දේශපාලනය යනු සමාජයක අභිවෘද්ධිය පිණිසත් පිරිහීම පිණිසත් බලපාන ප්‍රධාන සාධක දෙකක්. මනා යොමුවෙන් මහත් අභිවෘද්ධියක් ලබන්න පුළුවන්. නොමනා යොමුවෙන් මහත් පිරිහීමක් ලබන්න පුළුවන්.

තමන්ගේත් අන් අයගේත් යහපත කැමැත්තෝ ආගම ගැනත්, දේශපාලනය ගැනත් මනා සාකච්ඡාවන් බහුල සේ කරත්වා! අන් අයවත් ඊට යොමු කරත්වා!